මහින්දගේ අඩසියවස් සැමරුවට මෝදි - ෂීක්හෂීනා සහ මාලේ සෝලිගෙන් ඇමතුම්
ආර්ථිකය ගැන ආණ්ඩුව බොරු කියන බවට රනිල්ගෙන් චෝදනා
මංගල උත්සව කල්යෑමෙන් දුකට පත් පිරිස් ජනපතිගෙන් කළ ඉල්ලීම
ඡන්දය පැවැත්විය හැකි බව සෞඛ්‍ය ලොක්කෝ ජනපති ලේකම්ට කියති
එ.ජා.ප.ය සජිත් පිලට එරෙහිව විනය අවිය අමෝරයි
යූ.ඇන්.පීය බෝඩ් ලෑල්ලකට සීමා වී ඇතැයි සජිත් පිල පවසයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට වසර 50ක් සම්පූර්ණ වී තිබේ. 1970 මැයි මස 27 දින පැවති මහ මැතිවරණයෙන් බෙලිඅත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පත්වූ හෙතෙම ඉන් පසු ටික කලක් හැර දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළේය. දෙවරක් මෙරට විධායක ජනාධිපතිධූරය ද හෙබවීය. 30 වසරක් මෙරටට සාපයක්ව තිබූ කොටි සංවිධානය පරාජය කර රටට නිදහස උදා කරදුන් නායකයා ලෙස මහින්දට මෙරට බහුතර ජනතාවගේ ගෞරවය හා ප්‍රසාදය හිමිවෙයි.
මහින්ද සිය 50 වැනි පාර්ලිමේන්තු සැමරුම උත්සවාකාරයෙන් සැමරීමට ක්‍රියා නොකළේ මේ දිනවල රට වෙලාගෙන තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය නිසාය. මැති ඇමැතින් හා දේශපාලනඥයන්ගේ උණුසුම් සුබපැතුම් පිළිගනිමින් මේ දිනවල සතුටින් ගත කරන මහින්ද වෙනුවෙන් ඔහුගේ කනිටු සොහොයුරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ විශේෂ සුබ පැතුමක් එක් කළේය. “සුවහසක් ශ්‍රී ලාංකික ජනයාට මහින්ද රාජපක්ෂ යනු මෑත ඉතිහාසයේ අග්‍රගණ්‍ය දේශපාලන පෞරුෂයක් සහිත අසහාය නායකයාය. වසර 50කට පෙර තම දේශපාලන විදියට අත්පොත් තැබූ එතුමා වාර දෙකකදී විධායක ජනාධිපති ධූරය හොබවන ලද අතර අද දින ශ්‍රී ලංකාවේ සාර්ථකම ජනමූල නායකයා ලෙස හා අග්‍රාමාත්‍යවරයා ලෙස රටටත් ජනතාවටත් සේවය කරමින් සිටී. එතුමාගේ ඉදිරි දේශපාලන දිවියට මගේ උණුසුම් සුබපැතුම් එක්කරමි.”
මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන උරුමය ඉදිරියට ගෙනයන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සිය පියාට සුබ පැතීය. 1970 මැයි 27 යනු තම ජනතාවට අසීමිතව සේවය කළ මෙරටින් බිහි වූ විශිෂ්ටතම ජන නායකයාගේ දේශපාලන ගමන ආරම්භ වූ දිනය බවයි.
අගමැති මහින්දගේ අඩසියවස් සැමරුම ගැන දැනගත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බංග්ලාදේශ අගමැති ෂීක් හෂීනා මහත්මිය හා මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලියා මහත්වරු දුරකථනයෙන් මහින්ද අමතා සුබපැතූහ. ඒ සමඟ ඉන්දීය අගමැතිවරයා අමාත්‍ය තොණ්ඩමන් මහතාගේ අභාවය නිමිත්තෙන් මහින්ද රාජපක්ෂ මහතාට ශෝකය ප්‍රකාශ කළේ ඉන්දියාවට සුහද මිතුරකු අහිමි වූ බව කියමිනි.
මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමන්මගේ 50 වැනි සැමරුමට ආණ්ඩුව වෙනුවෙන් සුභපැතූවන් අතර හිටපු අමාත්‍ය මංගල සමරවීර විශේෂය. රාජපක්ෂවරුන් දැඩිව විවේචනය කරන මංගල සමරවීර සිය ට්විටර් ගිණුම ඔස්සේ මහින්ද රාජපක්ෂට සුභ පැතුම් එක්කර තිබිණි. මංගලගේ සටහනේ මෙසේ දැක්විණි.
“වසර 50 දේශපාලනය සමරන මහින්ද රාජපක්ෂ එල්.ටී.ටී.ඊ.යේ පරාජය සියලු ශ්‍රී ලාංකිකයන් එක්සත් කිරීම සඳහා යොදාගත්තේ නම් මෙරට හොඳම නායකයා විය හැකිව තිබිණි. නමුත් ඒ වෙනුවට විජයග්‍රාහී වාතාවරණයක් ඇතිවූ අතර එය නැවුම් උද්‍යෝගයකින් යුතුව තවමත් ඉදිරියට යයි. අගමැතිතුමාට සහ මව් පෙරමුණේ අප ගමන් සගයාට මගේ අවංක සුබපැතුම් පිරිනමමි...” යයි මංගල සමරවීර සඳහන් කර තිබිණි.
ඇඳිරි නීතිය පවත්වාගෙන ගිය දින 68කට පසු අගනුවර ඇතුළුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම විවෘත කැරිණි. මේ දිනවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී කාලයේ පමණි. මේ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශවලින් සෘජු උපදෙස් පැතීය. ඒ අනුව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැඩි සෞඛ්‍ය කොන්දේසිවලට යටත්ව නගර විවෘත කිරීමට අවසර දුන්නේය. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට ඔහු යැවූ ලිපියේ අවශ්‍යනම් සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත්වලට යටත්ව මහ මැතිවරණය පැවැත්විය හැකි බවද සඳහන් කර තිබිණි.
එහෙත් මැතිවරණ කොමිසම ඒ සම්බන්ධයෙන් දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදු කෙරෙන නඩු විභාගවල තීරණය ලැබෙන තෙක් බලා සිටී. ඒ අතරතුර මැතිවරණ කොමිසම නිතිපතා රැස්වෙමින් පවත්නා තත්ත්වය යටතේ මැතිවරණ ක්‍රියාදාමය පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් සකස් කරන බවද වාර්තා වෙයි. ඡන්දයට වැඩිපුර නිලධාරීන් බඳවා නව වියදම් ඇස්තමේන්තු සැකසීම සමාජය දුරස්ථභාවය පවත්වාගනිමින් ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා උපදේශන ලබාදීම වැනි කාරණා ගැන මැතිවරණ කොමිසම අවධානය දක්වා ඇත. කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝජිත පිරිසක් මේ සතියේ මැතිවරණ කොමිසම හමු වී මහ මැතිවරණය ගැන විශේෂඥ උපදෙස් ලබාදීමට නියමිතව තිබිණි. මැතිවරණ කොමිසම කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා තිබුණේ මහ මැතිවරණය පවත්වන්නට නඩු තීන්දුවෙන් පසු අවම දින 70ක් වත් අවශ්‍ය බවය. සියල්ල අතුරතුර මාධ්‍ය හමුවකට එක් වූ සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීවේ මැතිවරණය සඳහා තමන් නිර්දේශ ලබාදී ඇතත් යම් හෙයකින් කොවිඩ් රෝගය තවත් පැතිරුණහොත් මැතිවරණ තබා කිසිවක් කළ නොහැකි බවය. මැතිවරණයක් පැවැත්වීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරැ කිරීමත් නිසා මැතිවරණ සිතියම හැකිලීම ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්මට අභියෝගයක් බවද ඔහු කීය. මැතිවරණය සඳහා තමන් නිර්දේශ ලබාදුන්නේ දේශපාලන කෝණයකින් බලා නොව සෞඛ්‍යමය පැත්තෙන් විමසා බලා යැයි කී හෙතෙම දේශපාලන පක්ෂවල අවශ්‍යතා අනුව සෞඛ්‍ය තීන්දු ගත නොහැකි බව අවධාරණය කළේය. ඒ සඳහා තමන්ට නොයෙක් බලපෑම් නොකරන මෙන් දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බවද දොස්තර ජාසිංහ මහතා ප්‍රකාශ කර ඇත. ජනාධිපතිතුමා සෞඛ්‍ය නිර්දේශ ගරු කරද්දි ඇතැම් දේශපාලනඥයන් ඡන්දය ගැන විවිධ බලපෑම් කරන බව හෙතෙම කීය. තමන් වසර 30ක් වෛද්‍ය සේවයේ කටයුතු කළේ ස්වාධීනවයි. එම නිසා දේශපාලනඥයන් දාන කූඩයටම තමනුත් දමන්නට එපා යැයි අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කීය.
සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේගය පක්ෂය ඉක්මනින් මහ මැතිවරණය තබනවාට විරුද්ධ බව කීවද එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කියන්නේ ඉක්මනින් ඡන්දය තබා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතු බවයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයකු වන කේ. ඩී. ලාල් කාන්ත මහතා මේ ගැන අනුරාධපුරයේදී අදහස් දැක්වීය. ඔහු කියා තිබුණේ සෞඛ්‍ය අංශ මොනවා කීවත් තවමත් රටේ මහමැතිවරණයක් තමන්නට සුදුසු වාතාවරණයක් නොමැති බැවින් ඡන්දය තැබීම අයෝග්‍ය බවය. මේ සඳහා සෞඛ්‍ය බලධාරීන් ලබා දී තිබෙන නිර්දේශවල යම් පරස්පරතාවක් තිබෙන්නේ යැයිද ඔහු පැවසීය. එහෙත් සෞඛ්‍ය බලධාරීන් ඡන්දය පැවැත්වීමේ සූදානමක සිටින වග ඔහු හෙළිදරව් කර ඇත.
රජය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ දිගින් දිගටම කියන්නේ මහ මැතිවරණය සෞඛ්‍ය නිර්දේශ ලද සැණින් පැවැත්විය යුතු වගය. මේ ගැන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනවල අවස්ථා ගණනාවකදී සිය මතය ප්‍රකාශ කළේ තමාත් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයත් ඕනෑම මොහොතක ජනතාව ඉදිරියට ගොස් ජන වරමක් ලබාගන්නට සූදානම් බවයි. දැන් සෑහෙන දුරට කොරෝනා පාලනය වී ඇති නිසා උසාවි තීන්දුව ලද සැණින් මහ ඡන්දයට යාහැකි බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඔහුගේ විජේරාම නිවසේ පැවති පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගේ හමුවකදීය.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික තත්ත්වය ගැන සිය විග්‍රහය යූ ටියුබ් මාධ්‍යයෙන් මේ සතියේ රටට හෙළිදරව් කළේය. එමගින් රනිල් ප්‍රකාශ කළේ ජාතික ආර්ථිකයේ සැබෑ තත්ත්වය ගැන ආණ්ඩුව රටට සත්‍ය තොරතුරු හෙළිදරව් කර නැති වගය. ජාතික ආර්ථිකය තීරණාත්මක පල්ලම් බැසීමකට යොමුව ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා කීය. ඉදිරි කාලයේදී ණය ගෙවාගත නොහැකිව බංකොලොත් වන රටවල් අතරට ශ්‍රී ලංකාව ද වැටිය හැකි බව සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා සුළු මුදල් ආධාරයක් ලබාගන්නට ගොස් මාලිගාවත්තේ මිනිස් ජීවිත තුනක් අහිමි වීම රටේ ආර්ථිකයේ සැබෑ ස්වරෑපය පෙන්වන වගද කීය.
ලංකා වතු කම්කරු කොංග්‍රස පක්ෂයේ නායකයා අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය. 1994 වසරේදී නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැති සබයට පිවිසි ඒ මහතා වාර ගණනාවක්ම කැබිනට් අමාත්‍ය පදවි දැරීය. සිය මුත්තනුවන් වූ ලංකා වතු කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ වතුකර දේශපාලනයට පිවිසි හෙතෙම 1999දී සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසු පක්ෂ නායකත්වයට පත්විය. ඔහුගේ පියා මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වන රාමනාදන් තොණ්ඩමන් මහතාය. ඉන්දියාවේ නිල්ගිරි ප්‍රදේශයේ විශාල වතු හා දේපළ හිමි තොණ්ඩමන්වරු මෙරට දේශපාලනයේ ප්‍රබල චරිත වූහ. ආරුමුගම් තොණ්ඩමන් මහතා මියගිය දින සවස ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමට ඔහුගේ විජේරාම නිවසට පැමිණියේය. කලින් වේලාවක් ලබාගෙන ඔහු පැමිණියේ සවස 5.00ටය. සාමාන්‍යයෙන් අගමැතිවරයා හමුවන්නට පැමිණෙන තොණ්ඩමන් අගමැති හමුවට පැමිණ සිටගෙන කතාව පටන්ගත්තේය. ඔහු මහින්ද රාජපක්ෂ කියනතුරැ කිසිදා අසුන් ගත්තේ නැත. “සර් අපි ඡන්දෙ කාලේ වතුකරේ ජනතාවට දෙනවය කිව්ව රුපියල් 1000 දෙක එක ගැන හෙට කැබිනට් එකේදි කතා කරනවා. සරැත් මට උදව් කරන්න.” තොණ්ඩමන් මුලින්ම කීය.
“ඒ ගැන ජනාධිපතිතුමා එක්ක කතා කරලා ප්‍රශ්නය විසඳමු.” මහින්ද ඔහුට පැවසීය. ඊළඟට වතුකරයේ ප්‍රකට වත්තක අවුරුද්දක් තිස්සේ පවත්නා වැඩ වර්ජනයක් විසඳාගැනීමට අගමැතිවරයාගෙන් උපදෙස් පැතීය.
ටික වේලාවක් මෙලෙස කතා කරමින් සිටි තොණ්ඩමන් මහතා හදිසියේම මෙසේ ඇසීය. “සර් සතිඅන්තයේ නුවරඑළි එනවලු නේද? අනේ සර් 29 ඉරිදා මගේ බර්ත්ඩේ එක. එදා දවල්ට ඔබතුමා නොවරදවාම දවල් කෑමට අපේ ගෙදර එන්න ඕන. මම බලා ඉන්නවා.” එවිට සිනාසුණු මහින්ද “හරි මම එන්නම්” යැයි පිළිතුරු දුන් පසු තොණ්ඩමන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමඟ ද කතා කිරීමෙන් පසු සතුටින් පිටත්ව ගියේය. ඊට පැය දෙකකට පසු බත්තරමුල්ල සිය නිවසේ රාත්‍රී භෝජනයට සැරසෙන විට හදිසියේම බිම ඇදවැටුණු ඔහු එතැනම මියගොස් තිබුණේ දරුණු හෘදයාබාධයක් නිසාය. ඒ බව දැනගත් මහින්ද රාජපක්ෂ වහාම රෝහලට ගොස් තොණ්ඩමන්ගේ පුතා සහ දියණිය ඇතුළු ඥාතීන් මුණගැසී ශෝකය පළකළේය. තොණ්ඩමන් මහතා ජීවත්ව සිටියදී කළ අවසන් ඉල්ලීම පරිදි අද (ඉරිදා) මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ කොටගල නිවසට යනු ඇත. එහෙත් ඒ තොණ්ඩමන් මහතාගේ උපන්දින සාදයට නොවේ. අවමංගල්‍යය වෙනුවෙනි.
තොණ්ඩමන් මහතා මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයෙකි. ඔහුගේ අභාවයෙන් පසු එම ස්ථානයට දින තුනක කාලයක් තුළ සුදුසු අපේක්ෂකයකු නම් කිරීමට පොදු ජන පෙරමුණට බලය තිබේ. ඒ අනුව තොණ්ඩමන් මහතාගේ පුත්‍රයා වන ජීවන් තොණ්ඩමන් ඒ සඳහා නම් කිරීමට පක්ෂය තීන්දු කළේය. ඔහු ලන්ඩන් සරසවියේ නීති උපාධිධරයෙකි.
ඒ අතර තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් හිස් වූ පක්ෂ නායකත්වයට තිරය පිටුපස සටනක් ඇති වී තිබේ. තොණ්ඩමන් මහතාගේ සහෝදරියකගේ පුතා වන බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක හා හිටපු පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් පක්ෂ ජ්‍යෙෂ්ඨයකු නිසා කම්කරු කොංග්‍රස නායකත්වයට පත්වීමට ඉඩ ඇතැයි ඇතැම්හු කියති. එහෙත් ජීවන් තොණ්ඩමන්ට එම තනතුර හිමිවිය යුතු බව තවත් ජ්‍යෙෂ්ඨයන් විශාල පිරිසක් සඳහන් කර තිබේ.
කොරෝනා රෝගය පැතිරීම වැළැක්වීම සඳහා දැඩි පියවර අනුගමනය කරන අතර කොළඹ ඇතුළු දිවයිනේ සියලුම පළාත්වල ඇඳිරි නීතිය (දහවල් කාලයේ) ඉවත් කරනු ලැබීය. රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම සඳහා මේ තීන්දුව ගත්ත ද ඉරිදා දිනවල සහ පොසොන් පොහොය යෙදෙන ඉදිරි සති අන්තයේ රට පුරා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බව රජය කියයි. ඒ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත කරුණු දැක්වූ ඇතැම් මැති ඇමැතින් හා දේශපාලන හිතවතුන් සඳහන් කර සිටියේ ජූනි, ජූලි මාසවල කොළඹ තරු පහේ හෝටල්වල මංගල උත්සව විශාල ගණනක් සඳහා කල් තබා ඇණවුම් ලබාදී ඇති බවය. තමන්ගේ පවුල්වල මංගල උත්සව මේ දිනවල යෙදී තිබෙන නැකැත් අනුව සිදු නොකළහොත් ඉදිරියේ යෙදෙන කෝණ මාස (නැකැත් නැති මාස) නිසා මංගල උත්සව අවලංගු කරන්නට සිදුවනු ඇති බවය. ඊට සහන සලසන්නැයි ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ බලධරයන්ට උපදෙස් දුන්නේ මංගල්‍ය උත්සව දාන පරිත් පිංකම් ආදී සියලු කටයුතුවලට සුදුසු නිර්ණායක සකස් කරන හැටියටයි. දැනටමත් එම නිර්දේශ සකස්කර හමාර බැවින් කොළඹ හෝටල් හා අවන්හල් සෞඛ්‍යමය නිර්දේශ අනුව පවත්වාගෙන යාමටත් සමාජ දුරස්ථභාවය රැකෙන ලෙස මංගල උත්සව සංවිධානයටත් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් අවසරය ලැබිණි.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙතෙක් සිය දේශපාලන කටයුතු මෙහෙයවූ විපක්ෂ නායක කාර්යාලයෙන් ඉවත්ව ගොස් තිබේ. දැන් ඔහුගේ පක්ෂයේ කටයුතු බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ සිට සිදුකරන බව දැනගන්නට ඇත. ඒ අතර ඔහු මේ සතියේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් විදේශ රටවලින් ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම ගැන කරුණු දැක්වීය. මෙහිදී සජිත් කීවේ කුවේට් ඇතුළු විදේශ රටවල සහ වෙනත් යුරෝපා රටවල අතරමංව සිටින අප රටේ ජනතාව අමතක කොට සීෂෙල්ස් රාජ්‍යයේ ජනතාවට කොළඹට පැමිණීමට අවසර දුන්නේ ඇයිද කියායි. සීෂෙල්ස් පුරවැසියන් ගැන මෙරට පුරවැසියන් ගැන නැති කැක්කුමක් ඇති වූයේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.
සජිත්ගේ මෙම ප්‍රකාශයෙන් පසු රජය වෙනුවෙන් විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කරුණු දැක්වීය. මැද පෙරදිගින් මෙරටට ජනතාව දහස් ගණනක් ගුවනින් ගෙන ආ නමුත් විශේෂයෙන් කුවේට් රටින් පැමිණි සිය ගණනක් කොරෝනා රෝගීන්ය. ඒ නිසා තවදුරටත් කුවේට් වැනි රටවලට ගුවන් යානා යැවීමේ අවදානමක් පවතී. එසේම සීෂෙල්ෂ් රාජ්‍යය එරට පුරවැසියන් පිරිසකට මානුෂික හේතූන් මත මුදල් ගෙවා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ගන්නට අවසර පැතීය. ඔවුන් කොරෝනා පරීක්ෂණවලට යටත් කොට කොරෝනා නොමැති නිරෝගී පුද්ගලයන් ලෙස හඳුනාගත් පිරිසකි. ඒ අය මුදල් ගෙවා එරට ගුවන්යානයක් කුලියට ගෙන කොළඹට පැමිණ රෝහල් ගතවූහ. එය හුදෙක් රාජ්‍යයන් දෙකක් අතර මානුෂික හේතුන් මත සිදු වූ ගනුදෙනුවක් බව රජය වෙනුවෙන් විදේශ අමාත්‍යංශය කීය.
ජනතා විමුක්ති පෙරමුණ ද විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට කැඳවීම ගැන අදහස් ප්‍රකාශ කර තිබිණි. එහි මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කීවේ විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම ගැන රජයේ ප්‍රතිපත්තිය කුමක්ද කියායි. විදේශ රටවල සිරවී සිටින අපේ ශ්‍රමිකයන්ගේ සුබසාධනයවත් සමහර තානාපති අංශ විසින් නොසලකා හැර ඇතැයි ඔහු කීය. රටටත් ජාතියටත් විශාල සේවයක් කරන විදේශගත ශ්‍රමිකයන් අමතක නොකළ යුතු වගයි. කුවේට් අරමුදල වැනි අරමුදල්වල මුදල් හෝ යොදවා මේ පිරිසට සහන ලබාදෙන හැටියට හඳුන්නෙත්ති මහතා ඉල්ලා සිටියේය.
ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ සතියේ විශේෂ හමුවක් පවත්වා තිබේ. එම හමුව පැවැත්වූයේ දැනට පක්ෂය හැරගොස් සමගි ජනබලවේගය සමඟ එක්ව සිටින හිටපු මන්ත්‍රීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහාය. මෙහිදී රවී කරුණානායක, වජිර අබේවර්ධන ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත්තේ වහාම මේ අයට එරෙහිව විනය පියවර ගත යුතුය කියායි. පක්ෂයේ නීති ලේකම් නීතීඥ නිශ්ශංක නානායක්කාර පක්ෂ ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය අනුව කිසියම් පක්ෂ සාමාජිකයෙක් පක්ෂයේ අනුමැතියකින් තොරව වෙනත් පක්ෂයකින් ඡන්දය ඉල්ලන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර විනය පියවර ගත හැකි යැයි පෙන්වා දුන්නේය. ඒ අනුව පක්ෂ මහලේකම් අකිල විරාජ්ට බලය පැවරුවේ අදාළ මන්ත්‍රීන්ට විනය පියවර ගන්නා ලෙසයි.
එ.ජා.පය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨයන් හා මන්ත්‍රීන් 80 දෙනෙක් පමණ සමගි ජන බලවේගයෙන් ඡන්දයට ඉදිරිපත්ව සිටිති. ඔවුන්ගෙන් ජ්‍යෙෂ්ඨයන් වන සජිත් ප්‍රේමදාස, රන්ජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, මංගල සමරවීර, තලතා අතුකෝරළ, සුජීව සේනසිංහ, හර්ෂ ද සිල්වා ඇතුළු බොහෝ පිරිසකට විනය පියවර සඳහා ලිපි යැවූ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ අය දින 7ක් තුළ පක්ෂයට ලිඛිතව තමන්ගේ නිදහසට කරුණු ඉදිරිපත් කළ යුතු යැයි සඳහන් කර තිබිණි. එයින් පසු මේ ගැන මාධ්‍ය හමුවක් තැබූ සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කියා තිබුණේ තමන් සමගි ජන බලවේගය සමඟ එක්වූයේ පක්ෂ කෘත්‍යාධිකාරිය ලබාගත් තීන්දුව අනුව බවයි. එනිසා එ.ජා.ප මහ ලේකම්ට තම කණ්ඩායමට එරෙහිව විනය පියවර ගත නොහැකි බව ද සුජීව කීය.
ඒ සමඟ රන්ජිත් මද්දුමබණ්ඩාර සමගි බලවේග මහ ලේකම්වරයා ද නිවේදනයක් නිකුත් කර තිබිණි. ඔහු එමගින් කියා තිබුණේ එ.ජා.පයේ කල්ලියක් ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරමින් සමගි ජනබලවේගයට පහර දෙන වගයි. එ.ජා.පය බෝඩ් ලෑල්ලක් බවට පත්කර තිබෙන මෙම කල්ලිය තම පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් එ.ජා.පය සමඟ එක්වීමට සාකච්ඡා කරන බවට බොරු පුවත් පළකරන්නේ යැයිද කියා තිබිණි. ඔවුන් සිය මානසික වින්දනය උදෙසා මෙබඳු ප්‍රචාර කරන බව කී හෙතෙම එ.ජා.ප සාමාජිකයන්ගෙන් 99% දැන් සිටින්නේ සමගි ජනබලවේගය සමඟ යැයි කීය. ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබුණ එ.ජා.පය අද බොරු පුවත්වලින් යැපෙන තත්ත්වයට බංකොලොත්ව තිබේ. ඔවුනට හැකිනම් ඉදිරි මහ මැතිවරණයේදී අතේ ඇඟිලි ගණනාවකින් පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගන්නා ලෙස මද්දුමබණ්ඩාර මහතා අභියෝග කර ඇත.
සමගි ජනබලවේගයේ රාජිත සේනාරත්න මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. ඔහුගේ නිදහස වෙනුවෙන් සටන් කරන බව කී සජිත් පිලේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් රාජිතට සහය පළ කරමින් අධිකරණයට ගොස් සිටියහ. ඒ අතර හිටපු අමාත්‍ය චම්පික රණවක විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් කරමින් රාජිත සේනාරත්න සිරගත කර ඇත්තේ නීති විරෝධී ආකාරයට යැයි සඳහන් කළේය. ඒ නිසා රාජිත වෙනුවෙන් රජයේ මර්දනයට එරෙහිව සටන් කරන්නේ යැයි පැවසීය. රටට වැඩ කරන බවට ජනතාවට ප්‍රතිඥා දී ආණ්ඩු බලය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ පසුගිය මාස 6ක කාලය තුළ එකම ගඩොලක්වත් තබා නැතැයි කී හෙතෙම ඔහු කළ එකම දේ ජනතාව මත බදු පිට බදු පැටවීම පමණක් යැයි ද කීය.
ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර